අපි මෙම සූත්‍රයේ බුදුරජාණන්වහන්සේ සත්පුරුෂයන් සම්බන්ධයෙන් දේශනා කරන ලද විස්තරය පිළිබඳ අවධානය යොමු කරමු. සත්පුරුෂයා මේකේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත. සප්පුරිසො ච ඛො, මහා රාජ, උළාරෙ භොගෙ ලභිත්වා- සත්පුරුෂයාට ගොඩක් ධනය ධාන්‍ය ලැබුනයින් පස්සේ ඒ කෙනා මොකද්ද කරන්නේ; අත්තානං සුඛෙති පීණෙති- තමන් මුලින්ම සැපවත් කර ගන්නවා සතුටු කර ගන්නවා. ඒක අවශ්‍යනේ. තමන් සතුටු කරගන්නේ නැතිව සැපවත් කරගන්නේ නැතුව අපට වෙනත් කෙනෙකුගේ සැපක් සතුටක් ගැන හිතන එක අමාරුයි. ඒකට පිළිවෙලක්, යම් කිසි විධියක සීමාවක් තියා ගන්න එක වෙන දෙයක්. නමුත්, තමන් සැපවත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම, තමන්ගේ අම්මා තාත්තාට කරන්නත් ඕනේ. සමහර වෙලාවට අනිත් අයට උදව් කරනවා. අම්මා තාත්තාට කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒවා අපි කරලා ඉන්න ඕන. තමන්ගෙන් පස්සේ දරුවන්ට, ඒ වගේම භාර්යාවට ස්වාමිපුරුෂයාට, ඒ වගේම වැඩ කරන අය ඉන්නවා නම් ඒ අයට, යාළුවන්ට ශ්‍රමණබ්‍රාහ්මණයන්ට. එතකොට, ඒ ධනය හොරකම් කරන්නේ නැහැ. ඒ ධනය ආණ්ඩුවට යන්නේ නැහැ. තමන් අකමැති කෙනෙක් පැහැර ගන්නේ නැහැ, ලබා ගන්නේ නැහැ. භොගෙ එවං සම්මා පරිභුඤ්ජියමානෙ - ඉතාම හොඳ, මනාව පාවිච්චි කිරීමක් කියලයි කියන්නේ. ඉන්පසුව උන්වහන්සේ අර පෙර සඳහන් කරපු උදාහරණයම විස්තර කරනවා. මිනිස්සු ඉන්න, ජනකාය ඉන්න තැනක තිබෙන විලක් - මිනිස්සු ගැවසෙන තැනක තිබෙන විලක වතුර බොහොම පැහැදිළි, බොහොම ප්‍රණීත, බොහොම රසැති, බොහොම සීත, ඒ වගේම වැලිතලා ඇති රමණීය වෙච්ච වතුර තිබෙන විලක් මිනිස්සු පාවිච්චි කරනවා. ඒ වගේම තමයි සත්පුරුෂයා ධනය පාවිච්චි කරන්නේ - අම්මට තාත්තට සලකමින් තමන් භුක්ති විඳිමින් තමන් ළඟ ඉන්න අයට සලකමින් ශ්‍රමණබ්‍රාහ්මණයන්ට සලකමින් යහපත් පරිභෝජනය ඒ කෙනා කරනවා.
මේ තිබෙන්නේ මම මාතෘකා කළ ගාථා දෙක. අමනුස්සට්ඨානෙ උදකං ව සීතං, තදපෙය්‍යමානං පරිසොසමෙති. එතකොට එතන කියන්නේ ජනාවාස නැති තැනක තිබෙන සීත වතුර - තදපෙය්‍යමානං - පාවිච්චි නොකරන නිසාම පරිසොසමෙති ඒක වියළිලා යනවා. මෙන්න මේ ආකාරයට එවං ධනං කාපුරිසො ලභිත්වා – කාපුරිසො කියන්නේ අසත්පුරුෂයාට, ධනය ලැබුනම, නෙවත්තනා - තමන් කන්නේ නෑ, භුඤ්ජති නො දදාති - තවත් කෙනෙකුට දෙන්නේ නෑ. ඊළඟට ඒකේ හොඳ පැත්ත. ධීරො ච විඤ්ඤු අධිගම්ම භොගෙ - ධීර කියන්නේ පණ්ඩිතයාට. පාලියේ ආර් යයන්වහන්සේලටත් ධීර කියල කියනවා. නිබ්බන්ති ධීරා යථායම්පදීපො කියන්නේ. ධීරො, විඤ්ඤු කියන්නේ පණ්ඩිතයාටයි. - පණ්ඩිතයාට ධනය අධිගම්ම - ගොඩක් ලැබුනම, සො භුඤ්ජති කිච්චකරො ච හොති; ඒ කෙනා ධනය පාවිච්චි කරනවා, ඒ වගේම, කිච්චකරොච - කරන්න ඕන යුතු කම් ටිකත් ඒ කෙනා කරනවා. යුතුකම් ටික මග හරින්නේ නැහැ. සො ඤාතිසඞගං නිසභො භරිත්වා - ඒ අය ඥාති සමූහයට ගොඩක් හොඳට සලකනවා. අනින්දිතො සග්ගමුපෙති ඨාන"න්ති - ඒ කෙනා මිය යනකොට අනින්දිතවයි මිය යන්නේ. මෙතන මාතෘකාව තිබෙන්නේත් එයනේ. මාතෘකාව උපයන ධනය දහමට අනුව අනින්දිතව පරිභෝග කරන්නේ කෙසේද කියලා. අපි කවුරුත් මැරෙණ කොට මිනිස්සුන්ගෙන් බැණුම් අහගෙන මැරෙන්න ඕනේ නැහැ. අනින්දිතව මැරෙන්න ඕනේ. නින්දාවක් නැතුව මැරෙන්නේ උදව් පදව් යුතුකම් ටික හොඳට ඉෂ්ට කරලා මැරෙනවා නම් අන්න කිව්වා අනින්දිතව මිය පරළොව යනවා කියලා. ඒකයි අපිට අපේ ජීවිතයේ අවශ්‍ය වෙන්නේ.
Comments
Post a Comment