ඊළඟට, මේ සූත්‍රයේ සාකච්ඡාවට භාජනය වන්නේ, අපි අපේ ජීවිතවල ආලෝකයක් කරාද යන්නේ නැත්තම් අඳුරක් කරාද යන්නේ කියන එක. කෙටියෙන් කිව්වොත් සමහර කාණ්ඩයක් ඉන්නවා අඳුරෙ ඉඳලා අඳුරටම යන අය හෙවත් අන්ධකාරයේ ඉඳලා අන්ධකාරයට යන අය. තව කාණ්ඩයක් ඉන්නවා අඳුරෙ ඉඳල ආලෝකය හොයා ගෙන යන. තව කාණ්ඩයක් ඉන්නවා ආලෝකයේ ඉඳලා අඳුර හොයාගෙන යන. තව කාණ්ඩයක් ඉන්නවා ආලෝකයේ, ඒ කියන්නේ ආලෝකයේ ඉඳලා එළියට එහෙම නැත්තම් ආලෝකයට යන.
ඔබ දන්නවා බෞද්ධ ධර්මයට අනුව අඳුර නැතහොත් අන්ධකාරය කියන්නේ මෝහයට. අපි කවුරුත් කුමක් නිසාද මෝහයට පත් වෙලා තිබෙන්නේ? චතුරාර්ය සත්‍ය නොහොත් ආර්ය සත්‍ය සතර නොදැනීම නිසා. අපි වාචිකව දැනගත්තා වෙන්න පුළුවන්. හැබැයි, එය අපි ජීවිතයේ හරියාකාරව මානසිකව ප්‍රඥාවෙන් තේරුම් අර ගෙන නැති නිසා තමයි අපි මෝහයෙන් ඉන්නේ. එතකොට අඳුර කියන්නේ චතුරාර්‍ය සත්‍ය හතර පිළිබඳව තිබෙන අනවබෝධය නිසා සංසාර ගමන තුළ අපි හිර වෙලා ඉන්න එක. එය තමයි අපට තිබෙන ලොකුම අන්ධකාරය. නමුත්, අපි එම චතුරාර්‍ය සතර තේරුම් ගන්නකම් අපි සංසාරේ ජීවත් වෙනවනේ. අන්න එතනත් තිබෙනවා අඳුරක් සහ ආලෝකයක්. අන්න ඒකයි අද අපි කතා කරන්නේ.
Comments
Post a Comment