Skip to main content

මානය, මානයේ අරමුණු සහ මාන ධර්ම බැහැර කිරීම

 




මානය කියන්නේ කුමක්ද? මානය කියන්නේ මැනීම යි. අපි measuring කියලා කියනවා. ථේරවාද පාලි පිටක ග්‍රන්ථවලට අනුව, මානය කියන්නේ කොටස් තුනයි. එනම් හීනමානය, සදිසමානය සහ සෙය්‍යමානය වශයෙනි. හීනමානය කියන්නේ මම අනිත් කෙනාට වඩා පහළයි කියලා හැම වෙලාවෙම කල්පනා කරන මානසික ස්වභාවයයි. ඒ වගේම සදිසමානය කියන්නේ තමන් අනුන් සමඟ සම කර ගන්නාවූ මානසික ස්වභාවයයි. සෙය්‍යමානය කියන්නේ තමන් අනුන්ට වඩා දක්ෂයි, ශක්තිමත්, ඊට වඩා හොඳයි කියලා කර ගන්නාවූ අධි තක්සේරුවක් සහිත මානසික ස්වභාවයයි. ආර්ය ගමනට මේ සියලු මානයන් බාධාවක්. කුමන ක්ෂේත්‍රයක් හමුවේ වුවත් ඒක වෙන්න පුළුවන්.

මානය පිළිබඳ අභිධර්ම විග්‍රහය ඉතාම පැහැදිලි විස්තරයකි. අභිධර්මයට අනුව සියලු ධර්මයන් චිත්ත, චෛතසික සහ රූප නිබ්බාන වශයෙන් ප්‍රධාන කාරණා හතරට බෙදේ. චිත්ත කොටස් 89 හෝ 121 කි. චෛතසික 52 කි. එයින් අකුසල චෛතසික 14ක් පිළිබඳ කරුණු සඳහන් වේ. මානය යනු මේ අකුසල චෛතසික 14 න්, ලෝභයට අදාළ අකුසල චෛතසිකයකි. අකුසල් චෛතසිකවල අකුසල් ඇති වීමට ප්‍රධාන කාරණා හතරක් ඇත. ලෝභ, දෝෂ, මෝහ කියන්නේ අකුසල් මුල් වශයෙන් දැක්වුවද,, ඒවා ඇතිවෙන හේතුව අපි බොහෝ වෙලාවට දන්නේ නැහැ. මෝහය, අහිරිකය, අනොත්තප්පය සහ උද්ධච්චය යනු සියළු අකුසල චෛතසිකවලට සාධාරණ නැතහොත් සියලු අකුසල් සමග යෙදෙන චෛතසික හතරකි. උක්තව පෙන්වා දුන් ආකාරයට, අවිද්‍යාව හෙවත් මෝහය යනු සංසාර ගමන පිළිබඳව චතුරාර්‍ය සත්‍යාවබෝධය නොමැති වීමයි. අහිරිකය යනු පවට ලැජ්ජා නැතිකමයි. අනොත්තප්පය නම් පවට භය නොමැතිකමයි. එසේම උද්ධච්ච යනු සිතේ නොසංසුන් බවයි. හිත නොසංසුන් වුනාම අපරාධයකට යන්න පුළුවන් ඉඩ වැඩියි. නැතහොත් කෙලෙස් කරන්න පුළුවන් ඉඩ වැඩියි. වරදක බැඳෙන ප්‍රමාණය වැඩියි. වරදට අහුවන ප්‍රමාණය වැඩියි. ඒ නිසා මෙන්න මේ කාරණා හතර අභිධර්මයේ කියනවා - මෝහය, අහිරිකය, අනොත්තප්පය සහ උද්ධච්චය කියන කාරණා හතර සියළු අකුසල් ඇති කරන මූලාශ්‍ර හතරක් වශයෙන්.

අභිධර්මයට අනුව මානය සහ මදය අතර සම්බන්ධයක් ඇත. අභිධර්මයේ තවදුරටත් විස්තර කරනවා මේ දෙක හරියට ගුහා දෙකක සිටින සිංහයෝ දෙන්නෙක් වගේ කියලා. දැන් අපි හැම දෙනා ගාවම මේ දෙක තිබෙනවනේ. අප හැමදෙනාටම මානය සහ මදය තිබෙන නිසා බොහෝමත් ප්‍රවේශම් විය යුතුය. කෙසේවෙතත්, අභිධර්මයට අනුව, මදය වෙනම අකුසලයක් වශයෙන් අකුසල කොටසේ නැත. වඩාත් පරීක්ෂණාත්මක බැලුවහොත් පෙනීයන්නේ, මදය මානයේම කොටසක් ලෙස සංගෘහිත වන බවයි. ලෝභය නිසාවෙන් මානය සහ මදය ඇතිවන බවද තේරුම් ගත යුතුය. මදයට පත් විම විවිධ අයුරින් සිදු විය හැකියි. තරුණකම, මහළුකම, උගත්කම, ධනවත්කම ආදී විවිධ ලැබීමවලට අපි මත් විය හැකියි. ආදරය කරන්න. නමුත්, ආදරයෙන් මත් (මදයට පත්) නොවන්න. පංචශීලයේ පස්වන ශික්ෂා පදයේද මදයක් ගැන කථා කරයි. එනම්, ආහාර-පානවලින් මත් නොවන්න යන්නයි. එම නිසා, ආහාරපානවල අධික සාන්ද්‍රණයක් නිසා සිදුවන ඇල්කොහොල් භාවිතයද එයටම ඇතුළත් වේ.

මානය අඩුකර ගැනීම අපහසුයි කියා කුමන විටකදීවත් නොසිතන්න. පැහැදිලිවම බුදුරජාණන්වහන්සේ විසින් අපට මානය අඩු කරගත හැකි ආකාරය පෙන්වා දී තිබෙනවා. විදර්ශනාවෙන් සැම දෙයකම යථාර්තය දැකීමට උත්සාහ කිරීම මානය අඩුකර ගැනීමට ඉතාම පහසු මාර්ගයයි. මේ සඳහා ඔබට උපකාරී වන්නේ යෝනිසෝ මනසිකාරයයි. එය සෝතාපත්ති අංගයක් ලෙසද දක්වා තිබේ. යෝනිසෝමනසිකාරය තුළින් අපට විදර්ශනාපූර්වක යථාභූතඤාණදස්සනයට එළඹීමට මග සලසා දෙයි. උක්ත ආකාරයට තම දෙසත්, අන්‍ය දේ දෙසත් නොබලන අයට මානය සංවර කර ගැනීම අපහසු වෙයි. මෙහි මානපථය යනුවෙන් අදහස් කරන්නේ මානය ඇතිකරවන අරමුණු මුල්වූ පුළුල් පරාසයයි. මානපථය මනාව හඳුනා ගත හොත් මානය ඇතිවීම සැබැවින්ම පාලනය කර ගැනීම ඉතා පහසුය.

Visit Google Books to read a copy

Visit Academia to read a copy 

Comments