ලොකුම බැඳීම යකඩ, කඹවලින් බැඳීමද? භෞතික වස්තුවලට, පවුලට, දරුවන්ට බැඳීමද?: බන්‍ධන සූත්‍රය ඇසුරින් (සංයුත්ත නිකාය 3.10)
මේ ධීරා නැත්තම් ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ යදායසං දාරුජං පබ්‌බජඤ්‌ච; යදායසං කියන්නේ ආයස කියන එක. මොකද්ද ආයස කියලා කියන්නේ? ආයස කියලා කියන්නේ යකඩවලට. එතකොට යදායසං කියන්නේ යකඩවලින් මොනවා හරි දෙයක් කරලා තිබෙනවා නම්; දාරුජං - දාරුජ කියන්නේ ලීවලට. එතකොට ලීවලින් නැත්තම් දැව වලින් මොනවා හරි කරලා තිබෙනවා නම්; පබ්‌බජඤ්‌ච ; පබ්බජ කියන්නේ බුද්ධ කාලයේ තිබුන බට වර්ගයක්. සමහරු කියනවා මේක තෘණ වර්ගයක් කියලා. එතකොට යකඩවලින්, දැවවලින්, පබ්බජ කියන බට හෝ තෘණ වර්ගයෙන් මොනවා හරි දෙයක් බැන්දම ඒක බන්ධනයක් කියලා ආර්ය ශ්‍රාවකයෝ කියන්නේ නැහැලු. ඇයි ඒ? ඒ අය දකින්නේ ලොකුම බන්ධනය කියලා සාරත්‌තරත්‌තා මණිකුණ්‌ඩලෙසු. මොකද්ද මේ සාරත්‌තරත්‌තා කියන්නේ? සාරත්ත කියන්නේ පරිළාහය (obsession) - මානසිකව දැඩිව ඇලීම කියන එකයි. ඒ කියන්නේ සමහරුන්ට පිස්සු හැදෙනවා කියලා කියන්නේ නේද. එතකොට මේ පරිළාහය හෝ මානසික ඇලීම ඇති වෙන්නේ මොනවා සම්බන්ධවද? “මණිකුණ්‌ඩලෙසු” - වටින ආභරණවලට; වටින මැණික් වගේ පාෂාණවලට තිබෙන ඇලීම. මේ ආභරණ වලට හෝ පාෂාණවලට කවුරු හරි ගොඩක් කැමති වෙලා ඉන්නවානම්; ඊළඟට ඒ විතරක් නෙමෙයි - “පුත්‌තෙසු දාරෙසු ච යා අපෙක්‌ඛා”; ළමයින්ට, තමන්ගේ ස්වාමියාට, භාර්යාවට ඕනෑවට වඩා ඇලිලා නැත්තම් සැර විධියට ග්‍රහණය වෙලා ඉන්නවා නම් අන්න ඒ බැඳීම යක වලින්, කඹ වලින්, අර පබ්බජ වගේ බට වගේ දේවල්වලින් බඳිනවාට වඩා ලොකුම බැඳීම කියලා ආර්ය ශ්‍රාවකයෝ කියනවා. දැන් පැහැදිලියි නේද ලොකුම බැඳීම ඒකයි.
ඊළඟට බුදුරජාණන්වහන්සේ පෙන්නුම් කරනවා;
‘‘එතං දළ්‌හං බන්‌ධනමාහු ධීරා,
ඔහාරිනං සිථිලං දුප්‌පමුඤ්‌චං;
එතම්‌පි ඡෙත්‌වාන පරිබ්‌බජන්‌ති,
අනපෙක්‌ඛිනො කාමසුඛං පහායා’ති.
ආර්ය ශ්‍රාවකයා කියනවා “එතං දළ්‌හං බන්‌ධනමාහු ධීරා” - මෙන්න මේවට - ආභරණවලට, පාෂාණවලට - පාෂාණ කිව්වට අද කාලයේ පාෂාණ කියන්නේ අපි කැමති භෞතික වස්තු වලට, තමන්ගේ ළඟ ඉන්න ආදරය කරන අයට (ගෙදර පවුලේ ඉන්න අයට) දරුණු විධියට ඇලිලා දරුණු විධියට බැඳිලා විශාල ආසාවකින් කටයුතු කරනවා නම් කවුරු හරි අන්න ඒ තමයි විශාලම බන්ධනය කියලා ආර්ය ශ්‍රාවකයා කියනවලු. ඒකෙන් මොකද්ද වෙන්නෙත් කියලා කියනවා; ‘‘ ඔහාරිනං සිථිලං දුප්‌පමුඤ්‌චං”; ඔහාරිනං කියන්නේ පල්ලෙහාට දානවා කියන එකයි. මොකද්ද මේ පල්ලෙහාට දමනවා කියන්නේ? අපායට - අපාය හතරට ඒ කාරණාව නිසා ඕනෑම කෙනෙකුට යන්න පුළුවන්. ඒ කියන්නේ නරකය, ප්‍රේතය, තිරිසන්, අසුර කියලා අපාය හතරක් තිබෙනවා. ඒ හතරට තමයි මේ බැඳීම නිසා කෙනෙක් යන්නේ. සිථිලං දුප්‌පමුඤ්‌චං - ඒ බැඳීම හරිම බුරුල් වුනු එකක්. මොකද ඒක බොහොම පහසුවෙන් පල්ලෙහාට ගමන් කරනවා. දුප්පමඤ්චං - හරි අමාරුයි බේරෙන්න. දැන් බලන්නකෝ ගොඩක් ඕවාට ඇලිලා ගැලිලා බැඳිලා ඉන්න කොට හරි අමාරුයි ඒකෙන් අයින් වෙන්න. අපි තව ටිකකින් ඒ ගැන සාමාන්‍ය උදාහරණවලින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා .
ඊළඟට කිව්වා “එතම්‌පි ඡෙත්‌වාන පරිබ්‌බජන්‌ති” - ආර්ය ශ්‍රාවකයින් මොනවද කරන්නේ? මෙන්න මේ බැඳීම බැහැර කරලා දාලා; “අනපෙක්‌ඛිනො” - අපේක්ෂා විරහිතව (බලාපොරොත්තු නැතුව) ; “කාමසුඛං පහායා’’- කම් සුවය බැහැරට දානවා. ඒ කියන්නේ ආර්ය ශ්‍රාවකයා ලොකුම බන්ධනය මෙය බව දැනගෙන ඒ අය පස්කම් සැපයෙන් බැහැර වෙලා යනවා.
Comments
Post a Comment