Skip to main content

බොරු කීම, බොරු කිරීම, කාමයට සීමා නැති වීම සහ විසඳුම

අපි දන්නවා මේ බොරුව මුලින්ම වෙන්නේ වාචිකවනේ - ඇත්ත වශයෙන්ම මුලින්ම මානසික‌ව වෙන්නේ. ඊට පස්සේ  මනසෙන් හිත හදාගෙන වාචිකව සිද්ධ කරනවා.  එතකොට පළවෙනි කාරණාව තමයි බොරුවෙන් අයින් වීම.  දැන් මෙතන ප්‍රශ්නයක් තිබෙනවා.  අපි ඇත්තටම හැම සිදුවීමකම බොරුව (අසත්‍යය) සහ සත්‍ය  හඳුනා ගන්නවාද? ගොඩක් වෙලාවට අපි බොරු කියන්නේ නෑ කියන්නේ සාමාන්‍ය ජීවිතයේ සිදු වුණු දේ, නොසිදුවුණු බවයි. බොරුව  කියන්නේ ඊට වඩා විශාල පසුබිමක් තිබෙන දෙයක්.  එතකොට අපි අපේ ජීවිතයේ කතා බහ, හැසිරීම, සිතීම පැතීම යන හැම දේ තුළම බොරුවෙන් බැහැර වෙලා තියෙන්න ඕනේ. නැත්තම් අපි අන්ධකාරයකට හෙවත් සත්‍යයෙන් තොර ජීවිතයකට යනවා. මෙතන මුලින් කියනවා වාචිකව  අපි බොරුවෙන් අයින් වෙන්න ඕන කියලා. 

 හැම වෙලාවෙම බොරු කියන්නේ නැහැ කියන්නේ ත‌ව මොකක් හරි කරන්න ඕනනේ.  හැම වෙලාවෙදීම සත්‍ය කථා කරන තැනට වැඩ කරන්න ඕනේ. අඩු තරමේ උත්සාහ ගන්න ඕනේ. කරුණාවන්ත වෙන්න බැරි නම් අඩු ගානේ වැරදි වැඩේවත් නොකර ඉන්න කියනවානේ. බොරු කීමෙන් අයින් වුනාම මොනවා හරි ප්‍රතිපදාවක් තියෙන්න උවමනා නේ ඒකෙන් අයින් වෙන්න.  ඒ නිසා උත්සාහ කරන්න සත්‍ය කතා කරන්න. සත්‍ය කතා කරන්න ගියාම ප්‍රශ්න ටිකක් තිබෙනවා. අපි ඒවා පස්සේ කතා කරමු. හැම වෙලාවෙම තමන් කතා කරන වචන තුළ සත්‍යය ගැබ් වෙනවද කියලා හිතේ තියා ගෙන අපි කතා කරමු. 

හැම වෙලාවෙම තමන් කතා කරන වචන තුළ සත්‍යය තිබෙනවාද? අපි පරෙස්සම් වෙන්න ඕන මොකද  සමහර වෙලාවට අපි කතා කරන වචන තුළම බොරුව තිබෙනවා.  ඒ නිසා අප වචන සොයා ගන්නට ඕන සත්‍යය අපට ගම්‍යමාන වෙන සහ සත්‍යය අපට නිර්මාණය කරන්න පුළුවන් වචන මොනවාද කියන එක ගැන.  ඒකනේ සමහර වචන කතා කරාම සැක හිතෙන්නේ.  සැක හිතෙන්නේ ඒ වචන සත්‍ය  නැහැ. එහෙම වෙනව නේද? විශේෂයෙන්ම නීතිය පිළිබඳව කටයුතු කරන කෙනෙකුට  අපි කියන හැම වචනයක්ම එයාට පුළුවන් ගලපා ගන්න - සත්‍ය  හෝ අසත්‍ය ලෙසට, ගොඩක් වෙලාවට පෙනෙන විදියට.  ඒ කියන්නේ වචනයේ වාචික අර්ථයක් තිබෙනවා  - literal meaning කියලා කියන්නේ.  කෙසේ වෙතත් සත්‍යය තිබෙන වචන පාවිච්චි කරන්න. 

පච්චයිකෝ කියන්නේ පදනමක් ඇති (reliable)  වචන පාවිච්චි කිරීමයි. ඒ කියන්නේ කෙනෙකුට ගැටළුවක් නැති වචන. කෙනෙක් අනවශ්‍ය ප්‍රශ්නයකට යන්නේ නැති වචන පාවිච්චි කරන්න ඕන.  ඒක හරි වැදගත්.  දැන් ඒක වෙනවනේද?  පදනමක් ඇති වචන කතා නොකෙරුවහම මිනිස්සු තරහා වෙනවා. මිනිස්සු සමහර මිනිසුන්ව අතහැරලා යනවා තවත් මිනිස්සු සමීපයට නේද? මොකද ඒ කතා කරන වචන වල පදනමක් නැහැ ඒ කියන්නේ පදනම් කර ගන්න බැහැ.  ඒ කියන්නේ විශ්වාස නැති වචන පාවිච්චි කරනවා.  

ඊළඟට ඉතාම වැදගත් දෙයක් කතා කරනවා   අවිසංවාදකෝ ලෝකස්ස කියලා. අවිසංවාද කියන්නේ රවට්ටන්නේ නැති විධියේ  සංවාද ඇති කර ගන්න කියලා. බොරු කියන්නේ නැති එක, සත්‍ය  කතා කරන එක, සත්‍යය තමන් කතා කරන හැම වචනෙකම තබා ගන්නට උත්සාහ කරන එක, විශ්වසනීය භාවය, පදනමක් ඇති බව, ඒ වගේම රවට්ටන්නේ නැති බව. රවට්ටනවා (deception) කියන එකයි බොරු කියන එකයි අතරේ තියෙන්නේ වෙන් කරන්න බැරි සම්බන්ධයක්. බොරු කියන්නේ රවට්ටන්නනේ. එතකොට මේ දෙක වෙන් කරන්න බැහැ. Lying and Deception කියන දෙක වෙන් කරන්න බැහැ.  හැබැයි සමහර අයට නිකම්ම බොරු කියන්නත් පුළුවන් නේද? නිකම්ම නිකම් එහෙම බොරු කියන්නත් පුළුවන්.  නමුත් අපි කල්පනා කරන්න ඕනේ. අපට බොරුවෙන් තොරව ජීවත් වෙන්න පුළුවන් නම් වචනයෙන්වත්  හරි හොඳයි.  


Visit Google Books to read a copy

Visit Academia to read a copy 

Comments