හාමුදුරුවනේ අපි අහල තියන විදිහට බුදුදහමට අනුව සෝවාන් ඵලයට පත්වීමෙන් දුගතියක ඉපදීම අනිවාර්යයෙන්ම වලකිනව. එමෙන්ම වෙනත් ආගම් වලත් සදාකාලික ස්වර්ග රාජ්‍යයට එළඹීමට යැදීම් පව් සමාකිරීම් වැනි ක්‍රියාවන් දක්වල තියනවා. එම ආගම් අදහන වැඩිදෙනෙක් එම ක්‍රියාවන් අනුගමනය කර තමා ස්වර්ගයට යන බවට දැඩි විස්වාසයකින් සිටිනවා. වෙන ආගම් පස්සේ යන්නේ නෑ. බෞද්ධ අපි සමහරුන් සෝවාන් වීම කල් දමා වෙනදේවල් කරමින් සහ වෙනත් ආගම් වලට අයිති දේවාල පල්ලි කෝවිල් වලටත් යාමෙන් කොහෙන් හරි අවස්ථාවක් ලැබෙයි කියා බල බලා ඉන්නවා. ඇයි අපි සෝවාන් වීම කල් දමන්නේ ? ඔබ වහන්සේගේ හැම සාකච්ඡාවකම සෝවාන්වීම සඳහන් වීම සතුටට කරුණක්. අපිට සෝවාන් ඵලයට ළඟාවීමට මිටවඩා උත්සහයක් ගැනීමට අපහසුද?
තමා බෞද්ධයන් යැයි සිතා ගෙන සිටිනා බොහෝ අය ධර්මයේ මූලික පදනම (core) ඉගෙන ගෙන නැත. එය පුදුමයක්ද නොවේ. ඒ මන්ද ඒ අය උපන් දා සිට මේ දක්වා කරන්නේ සංස්කෘතික පදනමක් (cultural core) මුලික කරගත් වැඩ පිළිවෙලක් පමණක් නිසාවෙනි. කෙටියන් කිවහොත්, ඒ අයට ඇත්තේ ධර්මයේ පදනම නොව සංස්කෘතියේ පදනම පමණි.
සත්‍ය වශයෙන්ම, සංස්කෘතික පදනමක් තිබීම ධර්මයේ මූලික පදනම සොයන්නට (සෝවාන් මාර්ගයට පැමිණීමට කටයුතු කිරීමට) උපකාර කර ගත හැකිය. එනමුත්, ඒ අය, සංස්කෘතික පදනම තුළ පමණක්ම කටයුතු කරති. එසේම ඒ සංස්කෘතික පදනම පමණක් ආරක්ෂා කිරීමට පෙනී සිටිති. ඔබ පවසන, එකී පුද්ගලයන්ගේ මිථ්‍යාදෘෂ්ටික වැඩ (දේව ඇදහිලි සහ තමන්ගේ පටු ලෞකික කටයුතු ) සඳහා විවිධ ආගම් පසුපස යෑම පුදුමයක් නොවේ.
දෙව් බඹුන්ගේ පුදපූජාවට පත් බුදුරජාණන්වහන්සේට වැඳ හොර රහසේ, සමහර විට, පෙන්න පෙන්නමින්ම තමන්ගේ ලෞකික ආරක්ෂාව පැතීම සඳහා දේව කෝවිල් වන්දනාවේ යෑම තරම් අපහාසයක් සහ අවමානයක් බුදුරජාණන්වහන්සේට තවත් කළ නොහැකිය. අපි පින්කමක් අවසානයේ දෙවියන්ට පින් දෙන්නේ ඒ අයට උපකාරයක් පිණිසය. ඒ මන්ද, දෙවියන්ට වඩා මිනිසුන්ට කුසල්, පින් කිරීමේ හැකියාව වැඩි නිසාය. එය පටලවාගෙන දෙවියන්ගේ උදව් පතන්නෝ සෝවාන් මාර්ගයේ යන්නන් යැයි කිව හැකිය. එනමුත්, සෝවාන් මාර්ගයේ යන ආර්ය පුද්ගලයාට අමනුෂ්‍ය ප්‍රසාදය තිබෙන බව පැහැදිලිය. ඒ දේව ආයාචනයකින් තොරවය. ධර්මයට අනුව, දශ කුශලයන් පූරණය කරමින්, ආර්ය මාර්ගයේ යන්නාට අමනුෂ්‍ය ආශිර්වාදය හිමි වීම නිසැක නිසායි. ඒ අය බොහෝ විට එම ආර්ය පුද්ගලයා ආරක්ෂා කිරීමට කටයුතු කරති.
වරක් ශක්‍ර දෙවියන් වාහනයේ මාතලී සමග යන විට දිශා කිහිපයකට වැඳ නමස්කාර කරයි. එවිට, පුදුමයට පත් , මාතලී අසන්නේ, සියලු දෙවියන් විසින් පුදන ඔබට (ශක්‍ර දෙවිඳුන්) වඳින්නේ කාටද යනුවෙනි. එහිදී ශක්‍ර දෙවියන් ප්‍රකාශ කරන්නේ, මම මේ වඳින්නේ. දස කුශල ධර්මයන් පූරණය කරමින් කටයුතු කරන මිනිසුන්ට බවයි. දශ කුශලයන් මනාව පූරණය නොකරන ගිහියන් මේ බව නොදැන දෙවියන්ට වඳිති. තවත් දෙවිවරු සොයා ගැන යති. දශකුශලයන් මනාව පූරණය කරන මිනිසුන් මේ බව දැන සෝවාන් මාර්ගයට අදාළ කටයුතු යුහුසුළුව, අප්‍රමාදීව වහ වහා කර ගනිති.
සෝවාන් ඵලයට ළඟා වීමට අප කළ යුතු දේ නම්, දශ කුශලයන් පූරණය කරමින්, සක්කාය දිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස නැති කර ගැනීමට සිත සාදා ගෙන ඊට ගත හැකි සෑම උත්සාහයක්ම ගැනීමයි. ගත යුතු උත්සාහයද එයයි.
Comments
Post a Comment