Skip to main content

අනිත්‍ය භාවනාව කිරීමට සුදුසු දෙයක් තිබේ නම් කරුණාකර මට එවන්න



අනිත්‍ය, දුක්ඛ සහ අනත්ත නම් ත්‍රිලක්ෂණය යනු බුදුදහම අනුගමනය කරන සෑම දෙනාම විසින් නිරතුරුවම පුරුදු පුහුණු කළ යුතු යථාර්ථය අවබෝධ කර ගන්නාවූ සාධක තුනකි.  මෙහි අනිත්‍ය, දුක්ඛ සහ අනත්ත භාවනා යනුවෙන් ගත යුත්තේ බාහිර ලෝකයේ කාරණා නිසා අප අභ්‍යන්තරයේ ඇතිවන ආවේග සහ සඤ්ඤා මැනවින් දැක ගැනීමට උපකාරයක් වශයෙන් පමණි. 

එම නිසා සැම විටම අනිත්‍යය පමණක් භාවනාවක් නොවේ. එය, දුක්ඛ සහ අනත්ත යන සාධක තුළ ද දැකිය යුතුය. වඩාත්ම සුදුසු පදය නම, ත්‍රිලක්ෂණ භාවනා යන්නයි. මහායාන බෞද්ධයන් මේ තුනට තවත් සාධකයක් එක් කරයි. එනම් ශූන්‍යතා යන්නයි.  එනම්, මම, මාගේ, මම වෙමි යන කිසිවක් නැත්නම් සියල්ල ශූන්‍ය යන අදහසයි. එය ථෙරවාද ක්‍රමයටත් ගැලපේ. (සුඤ්ඤ්තා සංකල්පය)


නමුත්, අනිත්‍යයෙන් මෙම මානසික වර්ධනය (භාවනාව) පටන් ගත් යුතු වේ. බාහිය සූත්‍රයට අනුව,ඉන්ද්‍රිය, ඉන්ද්‍රීය අරමුණු, ආයතන ආදී කාරණා රාශියක් මුල් කර ගෙන අනිත්‍ය භාවනාව කළ හැකිය. කෙසේ වුවත්, නූතනයට අනුව මෙම භාවනාව කිරීමේදී, එකී ඉන්ද්‍රීය සහ අරමුණු මුල් කර ගැනීම කරන අතරම ප්‍රායෝගිකව වඩාත් පහසු  සහ ඵලදායී ක්‍රමයක් පෙන්වාදීමට කැමැත්තෙමි. අපගේ අදහසට අනුව, නූතන ලෝකයේ මිනිසුන්ට ඉන්ද්‍රීය, ආයතන වශයෙන් අනිත්‍යය වැඩීමට වඩා, දවසේ සිදුවන සිදූවීම පිළිබඳ සැලකිල්ලට ගෙන එම සිදුවීම්වල තිබෙන සඤ්ඤා (perceptions) සහ වේදනා/ආවේග (feelings) ඉවත් කර ගන්නට හැකි නම් මෙය ඉතා පහසුවෙන් කරගත හැකි වේ. 

1. පහසු ඉරියව්වකින් ඉඳ ගන්න (වඩාත් සුඛෝපභෝගී නොවන)


2. ප්‍රතිචාර දක්වන මනසින් තොරව, ඊයේ සිදුවූ සිදුවීම් හෝ අද දවසේ අත්විඳින ලද සිදුවීම් දෙස හෝ දැනට සිදුවන සිදුවීම් දෙස බලන්න. අතීතයේ ජීවත් වන මනසට වඩා මේ මොහොතට ගැලපෙන මනසට එකී සිදූවීම් මානසික ප්‍රතිචාර දැක්වීමකින් තොරව දකින්න. 

3. කිසිම සිදුවීමක් විනිශ්චය කිරීම (no judging) හෝ විශ්ලේෂණය (no analysing) නොකිරීමට වග බලා ගන්න. ඔබ සාමාන්‍යයෙන් අමාරුවේ වැටෙන්නේ මෙතන විය හැකිය. 

4. ඒ ඒ සිදුවීමවලට සිදුව තිබෙන වෙනස්කම් දකින්න. ඒ වෙනස්කම්වලට ඉන්ද්‍රීයයන්ගෙන්, ආයතනයන්ගෙන්, සිදුව ඇති ආදීනව දකින්න. එසේ දකින විට, ඉන්ද්‍රීය සංවරය, ආයතන සංවරය සහ විනිශ්චය නොකරන සහ විශ්ලේෂණය නොකරන මනසක ඇති වටිනාකම ගැන සිහිපත් කරන්න. 

උක්තව දක්වන ලද ක්‍රමය හරහා වර්තමාන මොහොත සිහියෙන් සහ සම්පජ්ඤ්ඤයෙන් යුක්තව, අභිඣාවෙන් සහ දෝමනස්සයෙන් තොරව බලන්න වග බලා ගන්න. 

ඒ වාගේම, මෙම පුරුද්ද, වාඩිවී කරන භාවනා ස්වරූපයට පමණක් සීමා නොකර ගන්න. දවසේ අනෙකුත් සෑම අවස්ථාවකටම ගෙන යන්න. සඤ්ඤාව සහ වේදනා/ආවේග අප ආක්‍රමණය කරන අවස්ථාවලට ඉතාම ඉක්මනින් ගෙන යන්න.

Comments